දරුවන් යනු මුලු ලෝකයටම ඉමහත් වූ සම්පතකි.මෙම සම්පත රටට ලෝකයට දායාද වීමට පෙර දරුවා හැදී වැඩෙන්නේ දෙමාපියන් සෙවනේය. එම නිසා දරුවෙකු ඉපදුන දා සිට උස් මහත් වීම දක්වා වගකීම කරමත වැටෙන්නේ දෙමාපියන් මතය. බොහෝ වෛද්‍යය විද්‍යාත්මක කාරනා වලට අනුව දරුවකුගේ මුල් ළමා විය එසේත් නැතිනම් ළමා කාලය මුලු ජීවිත කාලයම තීරණය කිරීමට තරම් ප්‍රභල කාලයකි. ඒ මන්දයත් කුඩා කල දරුවකුගේ මොලයට වැටෙන බොහෝ කරුණු කාරනා මකා දැමීම ඉතාම අපහසු දෙයක් නිසාය.
දෙමාපියන් සහ දූ දරුවන් අතර ඇති සම්බන්ධතාව එසේ මෙසේ එකක් නොවෙයි. එය අධ්‍යාත්මික බන්ධනයකි.මක්නිසාදයත් දරුවාගේ මුලු ලෝකයම වන්නේ දෙමාපියන් වන නිසාය. දරුවෙකු කුසේ සිටියදී පවා නිතරම ඇසෙන්නේ තම දෙමාපියන් ගේ හඩයි. දරුවා නිතැතින්ම අනුගමනය කරන්නේ ද තම මවගේ ජීවන රටාවයි.දරුවා මේ ලොවට බිහි වූ පසුද ආභාෂය ලබන්නේ තම නිවැසියන් , දෙමාපියන් හා හැදී වැඩෙන පරිසරය මතය. සියලුම දෙනාගේ ජීවිත මල් යහනාවක් ද නොවන බව අපි දනිමු. විවිධාකාරයේ හැල හැප්පීම් මතින් ගෙවෙන බවද අපි දනිමු. එහෙත් කවුරුන් වුවත් දැනගත යුත්තේ , කුඩා දරුවන් හට අවශ්‍යය වන්නේ භෞතික දායාද නොවන අතර ආදරය , කරුණාව වැනි මිලට ගත නොහැකි වන සම්පත් ය.කුඩා කල සිටම දරුවන් ට නොඅඩුව ආදරය , කරුණාව ලබා දෙන්නේ නම් අනාගතයේ ඔහුව හෝ ඇයව සතුටින් ජීවත් වන, තමන් ඉපදුන අරමුණ අවබෝධ කරගත් පුද්ගලයන් නිර්මාණය කිරීමට මග සකසයි. එය එසේ විය යුත්තේ ඉබාගාතේ යන සහ අරමුණක් නොමැති පුද්ගලයන් දෙමාපියන් ට මෙන්ම රටටද බරක් වන හෙයිනි.
එසේ නැත්නම් මෙසේ සරලව කිව හැකිය. කුඩා දරුවන් දෙමාපියනගෙන් බලපොරොත්තු වන්නේ පූර්ණ අවධානයයි. ඔවුන්ටද අපට මෙන්ම මනසක් පවතී.ඔවුන් හටද බය, වේදනාව වැනි සංවේදනද අපට මෙන්ම දැනෙන බව මතක තබා ගත යුතුය.එමනිසා පවසන දේවල් පිලිබදව අවධානය යොමු කර ඒ පිලිබදව කතාබහට ලක් කිරීම වැඩිහිටියන්ගේ යුතුකම යි.නැතහොත් එ අවස්ථාවලදී සිනාසීම, ගනන් නොගැනීම හා පහත් කොට සැලකීමට ගියහොත් සිදුවන්නේ ළමයාගේ ප්‍රශ්නයට විසදුමක් වෙනුවට ලැබෙන්නේ අමතර මානසික පීඩාවකි. දරුවන් මල් වගේ යැයි පවසන්නේ එම නිසා වේ. එක විටෙකදී සිදුවන බලපෑමක් මුලු ජීවිතයටම තර්ජනයක් විම නොවැළැක්විය හැකි නිසාය.
එලෙසටම දරුවකුගේ පෞරුෂය වර්ධනය කිරීමද ළමා වියේම පටන් සිදු කල යුත්තකි. කුඩාකල ලැබෙන අත්දැකීම් හා මගපෙන්වීම් තීරණාත්මක ව මුලු ජීවිතයටම බලපෑම් ඇති කරන නිසාය. ළමයාහට තීරණ ගැනීමට ඉඩ ලබා දීම , තමාගේ රුචි අරුචිකම් නොපැකිලව ප්‍රකාශ කිරීමට අයිතිය ලබා දීම වැනි ක්‍රියාකාරකම් මගින් අනවශ්‍ය බිය නැතිකිරීමට මග සලසා දිය හැකිය. එමෙන්ම අවස්ථානුකූලව තීරණ ගන්නා ආකාරය, ඒවාට උපක්රමශීලීව පිලිතුරු සොයන ආකාරය වුවද ඔවුන්ගෙන්ම විමසා ඒවයෙහි වැරදි නිවැරැදි කිරීම් කරමින් අගය කිරීම් කිරීම කුඩා දරුවන් වෙනුවෙන් කරන විශාල ඉපැයීමකි.
මෙසේ කාලය වෙන් කරමින් ඔවුන් සමග සුහදව ගත නොකලහොත් කෝපය, ආවේගය, පලිගැනීම වැනි දුර්වලතා ද , ආත්ම ශක්තිය බිද වැටීම වැනි ජීවිත තර්ජන ද විශාදය වැනි රෝගවලට භාජනය වෙමින් සියදිවි නසාගැනීම් දක්වා දුරදිග යාම් වන්නේද ළමා වියේදී සිදුවීම් මුල් කොටගෙන විය හැක.
එම නිසා ළමා මනස සමග සීරුවට ගනුදෙනු කිරීම තුළින් අනාගත පරපුර ආරක්ෂා කිරීම දෙමාපියන් වන ඔබගේද, ගුරුවරු වැඩිහිටි වන අපගේද යුතුකම බව මතක තබා ගත යුතුය.