Colombuzz
Local Digital Buzz

මට හැඟෙන Aussie සිහිනයේ නොදුටු පැත්ත

2 1,711

ලංකාව හැර පිටරට  පදිංචියට යාමට අදහස් කරන පිරිස ශීග්‍ර ලෙස වැඩි වී ඇත. එයට හේතුව  සමාජමය, ආර්තික හෝ දේශපාලන තත්වය විය හැකිය. COVID-19 හැම රටටම බලපාන පොදු වියසනයක් බැවින් මෙයට අදාල නැත.  Australia ව (Aussie)  ලාංකිකයන්ගේ ප්‍රමුක තේරිමක් බැවින් එම තත්වය ගැන විග්‍රහයක් ලිවිමට සිතුනි.  ස්තිර පදිංචියට Aussie යන අය පොදුවෙ දක්වන කරුණු  සැලකිල්ලට ගැනිම වැදගත්ය. එම කරුණු  සාරංශයක් ලෙස පහත දැක්විය හැක.

  1. දරුවන්ට වඩා හොඳ අධ්‍යාපනයක්
  2. දරුවන්ට වඩා හොඳ අනාගතයක්
  3. වඩා හොඳ ජිවිතයක් (Quality of life)
  4. සමාජ විනය ගරැක බව සහ නිදහස
  5. සැමට පොදු නිතිය
  6. විශ්‍රාමික ප්‍රතිපාදන
  7. පොදු සෞඛ්‍ය පහසුකම්
  8. Aussie passport නිසා අන්තර්ජාතික සංචරන පහසුව

මේ කරැනු ගැන බොහෝදුරට එකග  විය හැකිය, මන්ද යත්  Aussie වල වෙසෙන ලංකිකයන් ඒවා අත්විඳින බැවිනි.

Aussie පාසල් හෝ විශ්ව විද්‍යාල ලංකාවට වඩා ගුනාත්මක බැවින් වැඩිනැත. එයට හොඳම නිදසුනක් ලෙස ලංකාවේ AL යන්තම් පාස්වි Aussie වල විශ්ව විද්‍යාල වල උපාධි හොඳින් සමත් වන අය ගත හැකිය. තවද ලංකාවේ OL පමනක් සමක් අයටද Diploma කිරිම තුලින් උපාධියක් කල හැක.

නමුත් මුලික දේ නම් අධ්‍යාපනයේ පහසුවයි. පාසල පටන්ගන්නෙ උදේ 9 නිසා ගෙදරින් 8.45 ගිය හැක (පයින් යන දුර පාසලක් ලැබිම අනිවර්යය). පාසල ඉවර වන්නේ 3 වන අතර 3.15 ළමයා ගෙදර එන නිසා කිසිම  මහන්සියක් නැත. ළමයා ඉතා සතුටින් පාසල් යයි. ගුරුවරු සැර නැත. ඕනැම පොඩි දෙයකට ගුරුවරු ප්‍රශංසා කරයි. නිවාඩු කාලයට වඩා පාසල් කාලයට ළමයි කැමතිය. විශ්ව විද්‍යාලයට ඇතුලත්විමට පොදුවේ ගත්කල  තරඟයක් නැත (සමහර විෂය පත හෝ විශ්ව විද්‍යාල Rank එක අනුව මෙය වෙනස් විය හැක). රැකියා සඳහා උපාධිය අත්‍යාවශ්‍ය නැත. Diploma එක ප්‍රමාණවත්ය. රැකියවට අයදුම් කරන විට වයස බලන්නේ නැත. එම නිසා රැකියාවේ වෙනසක් අවශ්‍ය වූ විට අවුරැදු 50 අය වුවද Diploma හෝ Degree පටන්ගැනිම ඉතා සුලබය. ලංකාවේ මෙන් ජිවත් විමට සටනක් නැත. මුලික වියදම් ලංකාවට වඩා අඩුය. ලංකාවේ ලක්ෂ 100 කාර් එකක් ලක්ෂ 10 කට ගත හැකිය. ඕනෑම කෙනෙක්ට පලමු මාසයේ පඩියෙන්ම කාර් එකක් මිලදි ගත හැක.

දරුවන්ට වඩා හොඳ අනාගතයක් පෙන්නුම් කලද සමාජ රටාව ගැටළු සහගතය.

අවුරැදු 16 සුදු ජාතික ලමයි පසල් යන ගමන් රැකියාවක් කරයි. අවුරැදු 18 පසු සුදු ජාතික ලමයි ගෙදරින් බැහැරව වෙනම ජිවත් වෙයි. අවු 18 පසු ඔවුන් ගෙදර සිටිනවාට සුදු දෙමව්පියන් කැමති නැත. ටික දවසකට එසේ සිටියහොත් ළමයා එයට ගෙවිය යුතුයි. එම ගෙවිම වරදක් ලෙස දැකිය යුතු නැත, මන්ද යත් 18 දි කෙනෙක් වැඩිහිටියෙකු ලෙස සමාජය අර්ත දක්වන බැවිනි. නමුත් සංක්‍රමික ලාංකික අවුරැදු 18 ළමයාගේ තත්වය ඉඳුරාම වෙනස්ය. එම ලමයා කිසිසේත්ම වැඩිහිටියකු ලෙස අර්ත කතනය වන්නේ නැත. සුදු ජාතික සම වයසේ කෙනෙක් මෙන් තනිව ජිවත් විමට හැකියාවක් නැත. බොහෝ ලාංකික තරුණ අය උපාධිය අවසන් වෙන තෙක් දෙමව්පියන් සමග ඔවුන්ගේ උදව් ඇතිව ජිවත් වෙයි. මේ නිසා ලංකික යෞවනයන් සහ සම වයසේ සුදු යෞවනයන් අතර පැහැදිලි සමාජමය වෙනසක් දැකිය හැක.

අවුරැදු 16 පමන වන විට සම වයසේ සුදු යෞවනයන් සමග තරග කල නොහැකි බව ලංකික දරැවන් තේරැම් ගනි. දෙමව්පියන් තම සංක්‍රමනික තීරණය ඉතා නිවැරදි යන කෝනයේ සිට සැම දෙයක්ම දකින බැවින් මෙම තත්වය වටහාගන්නෙ නැත. එය බොහෝවිට “දැන් ලෝකය වෙනස්” , “දැන් ළමයි වෙනස්” යන පොදු සමාජමය පුරෝකථන වලට අනුව තමන් විසින්ම ප්‍රතිරුපිත comfort zone එකට අනුව ජීවත් වීම විය හැකිය.

නමුත් දෙමව්පියන්ගේ ජිවිතය මිට වෙනස්ය. ඔවුන්ට ලාංකික මිතුරන් මෙන්ම උත්සව බොහෝය. ලංකාවේ කෑම, සින්දු මෙන්ම සිරිත් විරිත් අකුරටම දැකිය හැක. නමුත් මේ මිතුරකම් සහ සමාජ අශ්‍රය හුදෙක් ලංකාව සමග පමනක් බැඳුනු දෙයකි. හැම වැඩිහිටියෙක්ටම ලාංකික Aussie සමාජයේ කිසියම්  අනන්‍යතාවයක් (identity) ඇත. එය තම ගම, පාසල, විශ්ව විද්‍යාලය, හෝ රැකියාව පදනම් කර ගෙනය. එම identity එක තුලින් ඉතා පහසුවෙන් ලංකික Aussie  සමාජයේ දෙමව්පියන් ජිවත්වෙයි. නමුත් ලමයින්ට එම අනන්‍යතාවය නැත. මන්දයත්  ඔවුන්ට තමන් වැඩෙන සමාජයේ තමන්ගේ කියා දෙයක් නැත. ලංකවේ දරුවන්ට තමන්ගේ කමක් ඇත. එය වැඩෙන දරුවකුගේ පෞරුෂත්වයට ඍජුවම බලපායි. උදාහරණයකට ලංකාවේ ළමයකුට විවිධ සමාජ ස්තර වල ආභාෂය ලැබේ. (පාසලේ මිතුරන්, පාසලේ ප්‍රශ්ණ, අසල්වාසින්, නෑදෑයන්, උපකාරක පන්ති සගයන්, අසල්වාසී උත්සව සහ  තරඟ, අවුරුදු සහ නත්තල් උත්සව, බස් වල යාම, බිග් මැච්, නගරබද ගැටළු, ආදාර සම්බන්ධ ගැටළු, වැඩිමල් සගයන් ඇසුරු කිරීම). මේවා සාමාන්‍ය බාසාවෙන් “කට්ට කනවා” ලෙස හැඳින්විය හැක. ලාංකික Aussie වැඩිහිටියන්  මෙවැනි අත්දැකීම් ලංකාවේ ළමා කාලයේ  ලැබුණු නිසා aussie තුල තමන්ගේ සමාජයක් තුල සාර්ථකව ජීවත්වේ.

නමුත් සංක්‍රමික ලාංකික ළමයන්ට එම ආභාෂය නැත. ඔවුන්ට පළමු ලෝකයේ system එකක් තුල අන්නෝන්‍ය සහයෝගයක් අවශ්‍ය නැත. “කට්ටක් හෝ කට්ටේ සොමියක් නැත”. system එකට අනුව ජීවත් වෙන නිසා ඔවුන්ට දෙමව්පියන්ට මෙන් අපේ කියා domain  එකක් නැත. ඔවුන්ට ලංකාවේ link එකක් හෝ network එකක් නැත. එම නිසා වයස 18 වන විට ලංකාවේ ලමයකුට ඇති සමාජ දැනුම, පලපුරැද්ද, අවදානම දරාගැනිම හෝ බහුවිද සමාජ තත්වවල මිතුරන් ඇසුරැ කිරීමට අවකාෂයක් නැත. Aussie බස්වල හෝ පොදු තැන්වල හෝ විශ්ව විද්‍යාල තුල හෝ නාඳුනන කෙනෙක් සමග කතාකරන්නේ නැත.

සංක්‍රමික ලාංකික යෞවනයන්   පෙනුමට ලාංකික වුවද සබැ ජීවිතයේ ලාංකික නොවන අතර කිසිදා Aussie යෙක් වන්නේද  නැත. මෙය identity crisis එකක් ලෙස හැඳින්විය හැක (පැහැදිලි ඒකීය අනන්‍යතාවයක් නැත). ඔවුන්ට සුදු සමාජයේ තැනක් නැති අතර දෙමව්පියන්ට මෙන් ලංකික Aussie සමාජයක්ද නැත. සුදු සමාජයේ තැනැක් නැත යන්නෙන් අදහස් කරන්නේ සමාජ තත්වය මිස රැකියාව හෝ ආර්ථික තත්වය නොවේ.

ලංකාවේ සංකෘතිය සමාජමය බැඳීම මත පදනම් වූවකි. Aussie සංකෘතිය එසේ නොවේ. එය පෞද්ගලිකත්වය මත ගොඩනැගුනු එකකි. මෙය සුදු ජාතිකයන්ට අනුකුලව පවතින දෙයකි. සුදු ජාතිකයා විවාහ වුවද තම පුද්ගලික අවශ්‍යතා අනුව ජිවත්වෙයි. තනිව trip යයි. නව රැකියාවක් වෙන ප්‍රාන්තයක ලැබුනොත් එය බාරගනි ( පවුලේ තීරණයක් නොවේ). දරැවන් හැදෙන්නේ තනිවමය. අතීයේ සිට සුදු ජාතිකයන් ජිවත් වුයේ එලෙසනි. ඔවුන්ට ඕන දියුණු රටක් එකය. ලෝක සවාරියක් තනියෙන් යන අවුරැදු 20 Aussie සුදු තරැණිය එංගලන්තයේ සමාජ ශාලාවක හෝ pub එකක මුන ගැහුනු ඇමරිකානු තරැනයකු සමග විවාහවී අවරැදු දෙක තුනක් රැකියාවක් කර නැවත  Aussie පැමිනීම ඉතා සුලබය (මේ තීරණ ගන්නේ තම මතය අනුව පමණි). පොදුවේ ගත් කල අපට ඒ  හැකියාව හෝ තත්වය ජානමය වශයෙන් නැත.

සංක්‍රමණය විමට පොදුවෙ ලංකිකයන්ට බලපාන හේතුවලට ළමයින් යෞවනයන් වනවිට විට බලපාන සමාජමය තත්වය ගැන වැඩි වැටහිමක් නැති බව මට හැඟේ. මන්දයත් බොහෝ අය සංක්‍රමණය වන විට ලමයින් කුඩා අවදියක වන බැවිනි. Aussie සිටින හැම දෙමව්පියෙක්ම ලංකාවෙ හැදුනු, සමාජය ගැන මනා වැටහිමක් ඇති පන්නරය ලැබුන පිරිසකි. ලංකාවෙ හැදි රැකියා කල ඔවුන්ට Aussie  වල ජිවත්විම ඉතා පහසු දෙයකි. කාර් එක රෙපෙයාර් කිරිම ඇතුලු හැම දෙයක්ම කරගැනිමට අපේ අය සිටිති. මේ අය වැඩිපුර කතාකරන්නේ ලංකාවේ ප්‍රශ්ණ ගැනය. පුලුවන් හැමවිටම ලංකාවට උදව් කරන්න සැදි සිටිති. කොටින්ම හදවතින් ලංකාවේද ශරිරයෙන් Aussie  වලද  ජිවත් වෙති.

නමුත් ගැටලුව ලමයින්ගේ ලෝකයයි. ඔවුන්ට දෙමව්පියන්ට මෙන් වපසරියක් නැත.

රැවුලයි කැඳයි දෙකම බේරාගත හැකි දැයි කිව නොහැකිය. මෙය උණු නිසා බොන්නත් බැරි කිරි නිසා ඉවත දැමිය නොහැකි තත්වයක් විය හැකිය.

Aussie වලට පැමිණීමෙන් ලංකාවේ බොහෝ ප්‍රශ්ණ විසඳෙන බව සැබෑය. නමුත් එම විසඳුම් භෞතික වශයෙන් පමණකි. තවද එම විසඳුම තුල මතුපිටට නොපෙනෙන  අධ්‍යාත්මක සහ සමාජමය ගැටළු රාශියක් අන්තර්ගතය.

මෙම  විග්‍රහය නිගමනයක් නොවේ. මෙය නිරීක්ෂණයකි.

මට හිතෙන ආකාරයට පිටරට  පදිංචියට යාමට අදහස් කරන අය එසේ කිරීමට පෙර පහත කරුණු ගැන අධ්‍යනයක් කිරීම කාලෝචිතය.

  1. දරුවන් යෞවනයන් වන විට ඇතිවන ගැටළු මොනවාද ?
  2. දරුවන්ගේ සංස්කෘතිය කුමක් වේද?
  3. විශ්ව විද්‍යාල ජීවිතයෙන් පසු ඔවුන්ගේ සමාජ රටාව කුමක්ද ?
  4. ළමයින්ගේ විශ්ව විද්‍යාල ජීවිතයෙන් පසු දෙමව්පියන්ගේ ජීවිත වල අරමුණු කවරේද?
  5. විශ්‍රාමික ජීවිතය කෙබඳුද ? එය තනිකමෙන් පිරුණු දෙයක් වියහැකිද ?
  6. විශ්ව විද්‍යාල ජීවිතයෙන් පසු තම දරුවන් අතර සම්බන්දය කෙබඳුද ?
  7. අවසානයේදී තමන් ජීවිතය ගැන ආපසු හැරී බලද්දී තෘප්තිමත් විය හැකිද ?
2 Comments
  1. Randika says

    ඕස්ට්‍රේලියාවේ ලාංකික ළමා පරපුරත් වැඩිහිටියන් මෙන්ම ඔවුන්ට අනන්‍ය සමාජයක් හදාගත්තොත් මේ සංස්කෘතික නන්නත්තාර වීම යම්තාක් දුරට හරි අඩු වෙයි නේද…

  2. Aruna Kumara says

    “Aussie පාසල් හෝ විශ්ව විද්‍යාල ලංකාවට වඩා ගුනාත්මක බැවින් වැඩිනැත. එයට හොඳම නිදසුනක් ලෙස ලංකාවේ AL යන්තම් පාස්වි Aussie වල විශ්ව විද්‍යාල වල උපාධි හොඳින් සමත් වන අය ගත හැකිය. තවද ලංකාවේ OL පමනක් සමක් අයටද Diploma කිරිම තුලින් උපාධියක් කල හැක.” 😀 😀

    Dear friend, you cant judge someone’s knowledge, skills and capacity based on just one exam result. Those who fail A/l live good lives too than those who fails A/l. We write A/l only when we are in our 18s. Please don’t judge the whole life of a person based on one such stupid exam. Knowledge is unique and different from each other. For example, a person who get failed from maths or bio streams may sometimes perform better than those who get 3As from commerce or arts. Knowledge, capabilities and skills are different and differs from one person to another. I would like to ask one question from you friend. Who are we to judge someone’s knowledge, skills and capabilities?

Leave A Reply

Your email address will not be published.